Friday, August 24, 2012

වෛරස්


ඔන්න අද අයිටී පාඩමෙන් ගුරු උගන්නන්න යන්නේ වෛරස් ගැනයි. හැමෝම හැමතැනකම කතාවෙන වෛරස් මොනවාද, මේවා ඇත්තමට කොහොමද වැඩකරන්නේ කියන දේ සරලව කියාදෙන්නයි මේපාර ගුරු උත්සාහ කරන්නේ.
සමහරු හිතන් ඉන්නවා මේවා කොම්පියුටර් ඇතුලේ ඉන්න පුංචි සත්තු ජාතියක් කියල. අර මයිටාවො ඉන්නෙ පෝන් අස්සෙ රිංගල අන්න ඒවගේ. (මම නං ඉස්කෝලෙ යනකාලෙ එහෙම හිතන් උන්නෑ)
හැබැයි ඔන්න මේ පාඩම වෛරස් හදන හැටි කියාදෙන එකක් නම් නෙමෙයි. ඒව ඉගැන්නුවොත් නම් ඉතින් ගුරා ඉවරයි.
හරි අපි එහෙනම් පාඩමට යමු. 


පරිගණක වෛරස් කියන්නේ පරිගණකය තුල සැඟවී සිට පහත දැක්වෙන එක එක අකාරයේ ක්‍රියාකාරකම් රහසේම කරනා මෘදුකාංග වැඩසටහනක් හෝ මෘදුකාංග කේතයන් වලටයි. සරලවම කිව්වොත් මේවත් සොෆ්ට්වෙයාර් ම තමයි.
·         ස්වයං ප්‍රතිවලිත වීම - ඒකියන්නේ තමාගේ පිටපත් සාදාගැනී‍මයි
·         වෙනත් වැඩසටහන් හෝ උපදෙස් කේතයන් හා එකට බැඳී පැවතීම
·         බලාපොරොත්තු නොවන ආකාරයේ ක්‍රියාකාරකම් කිරීම
යම්කිසි පරිගණක වැඩසටහනක් වෛරසයක් වශයෙන් හැඳින්වීමට එය එක හෙලාම පරිගණකයට හානියක් කළ යුතුම වන්නේ නෑ. ඒකියන්නේ පරිගණකයට හානියක් නොකරන සමහර වෛරස් වර්ග තිබෙනවා කියන එකයි. වෛරස් මගින් කරනා ඉතාම බරපතල මෙන්ම ආර්ථිකමය වශයෙන් ද බලපාන හානියක් වන්නේ දත්ත වල නිරවද්‍යතාවය නැතිකිරීමයි. දත්ත මූලයන්ගේ (ඩේටා බේස්) මෙවැනි හානියක් සිදු කළහොත් ඒවා පහසුවෙන් හඳුනාගැනීමට නොහැකියි. 

තවත් දෙයක් තමයි රහසිගත තොරතුරු හා ලිපි ලේඛන හොර රහසේම අන්තර්ජාලයට මුදාහැරීම හා ඊමේල් මඟින් පිටතට යැවීමයි. මේ ආකාරයට ඔබේ මුරපද (පාස්වර්ඩ්) වගේම පෞද්ගලික බැංකු ගිණුම් අංක, ඒවායේ මුරපද (පින් අංකය) ,ක්‍රෙඩිට් කාර්ඩ් අංක හා ඒවායේ රහස් අංක ඔබ නොදැනුවත්වම ඔබේ පරිගණකයෙන් පිටමං වනවා ඇති. 
වෛරසය පැහැදිලිවම හඳුනා ගෙන එය ප්‍රති වෛරස් මෘදුකාංගයක් මඟින් ඉවත් නොකරනතාක්කල් වෛරසයෙන් වන හානිය හෝ එහි ප්‍රතිවලිත වීමේ හැකියාව නැවතෙන්නේ නෑ.
වෛරසයන්ට ක්‍රියාත්මක් වීමට හා රඳා පැවතීමට ධාරකයක් එනම් හොස්ට් එකක් අවශ්‍යයි. ඒ කියන්නේ වෛරසයට ක්‍රියාත්මක වීමට අවශ්‍ය මෘදුකාංග හා දෘඩාංග පරිසරය නිවැරදිව තිබිය යුතුයි. වෛරසයක් ආසාදනය වූ වැඩසටහනක් පරිගණකයේ ක්‍රියාත්මක වනවිට භාවිතා කරන පරිශීලකයාගේ අනුදැනුමෙන් තොරවම එම වෛරසය පරිගණකය තුල ක්‍රියාත්මක වීමට පටන් ගනී. 
වෛරස් නිපදවා තිබෙන්නේ අනෙකුත් වැඩසටහන් මෙන් නොවන හින්දා ඒවාට අප නොදැනුවත්වම ක්‍රියාත්මක වී අපේ ලිපිගොනු (ෆෝල්ඩර් හා ෆයිල්) වලට හා දෘඩ තැටියට (හාර්ඩ් ඩිස්ක් එක) හානිකිරීමට හැකියාව තිබෙනවා. මින් සමහර වෛරස් පරිගණකයේ ක්‍රියාකාරීත්වය අඩපණ කර එය මන්දගාමී කරනවා. තවත් වෛරස තියනවා ඒවා පරිගණකයේ අසාමාන්‍ය හැසිරීම් රටාවල් සිදුකරවනවා. ඒවගේම විවිධ කොටස් අක්‍රීය කරවන වෛරසුත් තියනවා. සාමාන්‍යයෙන් වෛරස මඟින්මෘදුකාංග කිහිපයකම ක්‍රියාකාරීත්වය අවුල් කරවනවා මෙන්ම පද්ධති මෘදුකාංගය ද (ඔපරේටිං සිස්ටම් එක) අර්ධ වශයෙන් අඩලණ කරවනවා. 

පරිශීලකයන් නොදැණුවත්වම හා ඔවුන් නොදැණුවත්කම නිසා බොහෝවිට වෛරස් පතුරුවා හරිනවා. එසේ කරන්නේ වෛරස් මගින් ආසාදිත වැඩසටහන් සීඩී තැටි වලට  හෝ පෙන් ඩ්‍රයිව් වලට පිටපත් කරගෙන ගොස් වෙනත් පරිගණක වලට ඇතුලු කිරීමෙන්.
ලොව පළමු පරිගණක වෛරසය වන්නේ වසර 1986 දී පාකිස්ථාන් ජාතික ස‍හෝදරයින් දෙදෙනෙක් විසින් ලියනු ලැබූ “බ්රේන්” නැමැති වෛරසයයි. මෙහිදී ඇත්තෙන්ම ඔවුන්ගේ අරමුණ වී තිබුණේ පරිගණක හෝ පද්ධති වලට හානියක් කිරීම නොවෙයි. ඔවුන් දෙදෙනා එය නිපදවන ලද්දේ ඔවුන් විසින් සාදන ලද වෙනත් මෘදුකාංගයක ආරක්ෂාවටයි. එම මෘදුකාංගය ඔවුන්ගේ අවසරය නැතිව වෙනත් පරිගණකයකට පිටපත් කර ගත හොත් එම පරිගණකය අක්‍රීය කිරීමට මෙම වෛරසය සමත් වුනා.
දැන්නම් ‍ලොව බහූතරයක් වෛරස් ලියනු ලබන්නේ හැකර්ලා විසින්. 
මේ වගේම තමයි ලොව ප්‍රසිද්ධවූ තවත් වෛරසයක් වන “ෂර්නොබිල්” (Chernobyl) වෛරසය. ඒගැනත් රසවත් (ඇත්තටමනම් රසවත් නෑ) කථාවක් තිබෙනවා. ෂර්නොබිල් කියන්නේ යූක්රේනයේ (ඒකිලයේ මෙය සෝවියට් රුසියාවට අයිතියි) ඇති ග්‍රාමීය ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ තිබුණා න්‍යෂ්ඨික බලාගාරයක්. ඒ බලාගාරයේ සිදුවූ කාන්දුවීමක් හේතුවෙන් 1986 අප්‍රියෙල් 26 වන දින සම්පූර්ණ බලාගාරයම පුපුරා ගියා. මෙම න්‍යෂ්ඨික බලාගාරයට සිදුවූ දෙය මුලු ලෝකයම කලඔන තරම් දුක්ඛිත දෙයක්. මෙතෙක් කාලයකට ලොව සිදුවූ විශාලතම න්‍යෂ්ඨික පිපිරුම වන්නේ මෙයයි. න්‍යෂ්ඨික විකිරණ බටහිර රුසියාව හා යුරෝපය පුරා විහිදුනා. මුලු ෂර්නෝබිල් ප්‍රදේශයම පිපිරීමෙන් විනාශ වුනා. බලාගාරයේ සේවයකල කිසිවෙකුත් බේරුණේනෑ. මේ අතර සිටි එක් පුද්ගලයෙකුගේ මරණය නිසා දැඩි කම්පාවට පත්වූ පරිගණක ශිල්පියෙකු විසින් ෂර්නෝබිල් නමින් ඉතා දැඩි විනාශකාරී වෛරසයක් නිපදවූවා. එම පරිගණක ශිල්ලියා අර කලින් කී මියගිය න්‍යෂ්ඨික බලාගාර සේවකයාගේ සහෝදරයායි.

-වෛරස් පිළිබඳ පාඩම තවත් කොටසක් ඉදිරි දිනවලදී පළකරන්න සූදානමෙන් ඉන්නවා. එතකන් මේගැන ඔයාලගේ අදහස් දක්වනවානම් ලොකු ධෛර්යයක්.

No comments:

Post a Comment