Tuesday, June 23, 2015

සෑර් කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගත්තේ?



අවුරුදු 2 ½ කටත් වැඩි කාලෙකට පස්සේ බ්ලොග් එකට ලියන පල‍වෙනි ලිපිය ‍තමයි මේක. හැමදාම අයි.ටී පාඩම්ම බ්ලොග් එකට දාන්නේ නැතුව මගේ අත්දැකීම් වගේ දේවලුත් දාන්ඩ හිතාගෙන මින් මනතට බ්ලොග් එකේ පාර ටිකක් වෙනස් කරන්ඩයි හිතන් ඉන්නේ.

අද මේ කියන සිද්ධිය උනේ මගේ අයි.ටී ගෝලයක් මගෙන් අහපු ප්‍රශ්නයක් එක්කම මගේ මතකය අතීතය‍ට ඇදිල ගිය සිදුවීමකින්. මම දැන් අයි.ටී පංතිය කරන් යන්නේ බම්බලපිටියේ ප්‍රසිද්ධ එකවුන්ටින් උපකාරක පංති පවත්වන ආයතනයකයි. එකේ CMA පාඨමාලාවේ දෙවන අදියරේ අයි.ටී ගුරා වශයෙන් තමයි දැන් උගන්වන්නේ. මේකේ ගෝලයෝ ගොඩක් අය ‍ජොබ් කරනවා නැත්තං උසස්‍ පෙල ඉවර කරල පජාත වෙවී ඉන්න උං. සමහරු මටත් වඩා වයසින් වැඩියි. සමහරු 93/94/95 න් මෙහා ලොවේ උපන් ළමයි.

මම හැමදාමත් වගේ පාඩමට අමතරව එක එක බාහිර මාතෘකා, ර‍ටේ තොටේ සිදුවීම්, ජීවිතේ ගැන, වි‍ශේෂයෙන්ම බ්ලොග් මිතුරන්ගේ කතා ළමයින් එක්ක කියනවා. වැ‍ඩිපුරම හිස් අහස, මාරයාගේ කතා, අපේ අ‍චිර අයිය‍‍ගේ කතා, අටමා, හිරූ, අවතාර්, සමන් බංඩාරගේ දිනපොත වගේම තව තවත් මතක් වෙන කතා ගොඩක් කෙටියෙන් කියනවා.

2014 අවුරුද්දේ මගේ පංතියක ළමයෙක් උන්නා. නම අනුරාධ. උගේ ඉංග්‍රීසි දැනුම නොම්බර එකයි. ඉහේ කෙස් ගානට වඩා මාව කොරවෙලා තියෙනවා උගේ ඉංග්‍රීසි ප්‍රශ්න වලින්. කටපියන් ඉන්නෙත් නෑ මු. හැම පාරකම මාව කොරවෙලා ගියේ ප්‍රශ්නය තේරුම් ගන්ඩවත් බැරි තරමට ඉංග්‍රීසි සංකීර්ණ හින්දයි. මට විතරක් නෙමෙයි පංතියේ එකෙකුටවත් මුගේ ඉංග්‍රීසි තේරුන්නෑ. ඒ තරමටම අක්ෂාංශ, දේශාංශ, ව්‍යාකරණ, උක්ත, ආඛ්‍යාත, උතුර, දකුණ ඔක්කොම මාරුවෙලා හදපු වාක්‍ය තමයි මේකා කියන්නේ. පංතියේ උන්නු ජොලිම එකා තමයි මේ. ඒත් මූ‍ගේ ඉංග්‍රීසි දැනුමේ හැටියට කවදාවත් විභාගෙ ගොඩයන්නේ නෑ. ක්ෂේක්ශ්පියර් උනත් වහ බොනව මූත් එක්ක පැය කාලක් ඉංග්‍රීසි කතා කරොත්.

සෑර් කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගත්තේ?

කියලා දවසක් මේකා අහපුවාම මට පව් කියලා හිතුනා. ඒකට හේතුව මූ ඔෆිස් එකේදි හැමෝගෙන්ම බයිට්වෙලා ඇති වෙලාම උන්නු බව අපි හැමෝම දැනං උන්නු හින්දයි. ඒ ප්‍රශ්නෙ එක්කම මගේ හිත පස්සට ඇදිල ගියා. මගේ ඉස්සර ඉංග්‍රීසි දැනුම, මේවගේම ඔෆිස් එකේ දි ඉංග්‍රීසි හින්දා චාටර් වෙන සුදු අයියා ඒ කිව්වේ මහප්පගෙ පුතාත්, මම කට්ට කාලා ඉංග්‍රීසි ඉගෙන ගත්තු හැටිත් මට මතක් උනා. මම ඒ මතකය මගේ පංතියේ ළමයින්ට එදා කිව්වා. ඔන්න ඔය ඉතිහාස කතාව තමයි මම අද කියන්ඩ යන්නේ.

2003 අග හරිය වෙද්දි මම ඒ.ලෙවල් ලියල ප්‍රතිථල ඉතා උත්කෘෂ්ඨ වන බව ඉවෙන් මෙන් දැනගෙන දෙවැනි පාරට විභාගෙට සෙට් වෙවී උන්නා. ඔය අතරේ අපේ අයියා ඔෆිස් එකේ වෙන අප්සැට් කේස් ඉවසගන්ඩම බැරිතැන ඉංග්‍රීසි පංතියකට යන්ඩ ඕනෙ කියලා අපේ ගෙදර ආපු වෙලාවක කිව්වා.

මල්ලියෙ වරෙන් මාත් එක්ක ඉංග්‍රීසි පංතියකට යන්ඩ. ම‍ට දැන් ඇතිවෙලා බං චාටර් කාලම. හංදියෙ බෝඩ් එකක් ගහල තියෙනවා අලුත් සෑර් කෙනෙක් ගැන. වරෙන්කො හවහට මාත්තෙක්ක ටවුමට ගිහිං පොරව හම්බුවෙලා ටෝකක් දාලා බලංඩ.
මූට බෑ කියන්ඩ බැරි හින්දම මමත් හා කිව්වා. හැබැයි මගේ තුන් හිතකවත් තිබ්බෙනෑ ඉංග්‍රීසි පංතියක‍ට යන්ඩ උවමනාවක්.
ඔන්න ඉතිං හවස 6 ට විතර අයියා මහප්පගෙ පරණ ලුමාලා බයිසිකල් එකේ නැගල අපේ ගෙදර ඇවිත මාවත් දාගෙන ටවුමට පැද්දා. ටවුමෙන් පොඩ්ඩක් එහාට වෙන්ඩ වල්ගම්මුල්ල පාරේ ගාමන්ට් එක ඉස්සරහ තියෙන තට්ටු 5 බිල්‍ඩිම ගාව අපි නැවතුනා.

මල්ලියේ මේක අපි පඳුරක් අස්සෙ හංගමු. සෑර් කාරය දැක්කොත් වස ලැජ්ජාව බං.

අයියා පුරුදු පරිදි නැති නම්බුව අටවන්ඩ පටන් ගත්තා.
දෙන්න එක්කම සයිකලේ කැන්දැ පඳුරක් අස්සෙ ගහල ඒ ගහටම දාලා දංවැල ඔතලා ලොක්කෙක දැම්මා.
ලිෆ්ට් නැති බිල්ඩිං ඇති අපේ ටවුමේ තට්ටු 5 බිල්ඩිම අපි දෙන්නා පයින්ම නැග්ගා. උඩම තට්ටුවේ කුලිය තුට්ටු දෙකටම අඩු හින්දා ‍මේ සෑර් තෝරගෙන තිබ්බේ 5 වෙනි තට්ටුව. අපි දෙවෙනි තට්ටුව නගින කොටම ඇහුනා උගන්නන සද්දේ.

ළමයි පිරිල ඇති බං. ඇහෙන්නැද්ද කෑගගහ උගන්නන සද්දෙ.  මං කිවිවා.
අඩේ අඳුරන එකෙක්වත් උන්නොත් නවනිංගිරියාවයි වෙන්නේ. උඹ ඉස්සෙල්ල ගිහිං බලං වරෙන් කො.

අයියා මාව ඉස්සරහට දාන්ඩයි හදන්නේ කියල මට තේරුණා. හොරෙන් ඔලුව දාල බලන එකනං අවුලක් නෙමෙයි, ඒත් ඊට වඩා මං බය උනේ සෑර් කාරයා අර දෙනෝ දාහක් ඉස්සරහ ඉංග්‍රීසියෙන් මොකක් හරි ඇහුවොත්...
ඒකට බයේ මම
කමක් නෑ බං ඉංග්‍රීසි බැරිහින්දනෙ හැම එකාම මෙහෙ එන්නෙ. ලැජ්ජවෙන්නැතුව වරෙන් යන්‍ඩ.

ලී බංකු පුරවපු, හෙන ලොකු කලු ලෑල්ලක් ගහපු විසාල හෝල් එකක සූ ගාලා ළමයි 20 ක් විතර උන්නු පංතිය‍ට අපි හීංසැරේ පිටිපස්සෙන් ගිහින් හිටගත්තා. ලෑලි වලින් හදපු ඉස්ටේජ් එකක් උඩ කලු කොට කෙට්ටු තට්ටයෙක් කෑමොර දෙමින් උගන්නනවා.

අපිව දැකල විනාඩි දෙකකට විතර පස්සෙ සෑර් අපේ පැත්තට හිමිං ආවා.
සුදු අයියෙ උඹ කතා කරපං. ඕං මං නෑ ඉංග්‍රීසියෙන් මොකුත් ඇහුවොත් හෙම. මම කල්තියාම අනතුරු අඟවලා ඇඟ ‍‍බේර ගත්තා.

අපිට වඩා සෑහෙන්න මිටි සෑර් අපි ළඟට ඇවිත් හිනා මුසු මූණෙන් ඇයි මොකද?” කියල සිංහලෙන් ඇහුවා. සිංහයෙක් වගේ ඉස්සරහට පැන්න අපේ එකා,
සෑර් වී නීඩ් ඉංග්ලිශ් ක්ලාස්. කිව්වා. 

ම‍ට හීං දා‍ඩිය දාගෙන ආවේ සෑරුත් ඉංග්‍රීසියෙන්ම උත්තර දුන්නොත් කියල හිතුන හින්දයි. මෙච්චර හොඳට සිංහලෙන් වැඩේ පටන් ගත්තටත් පස්සෙ මූ ඉල්ලං කන්ඩයි හදන්නේ.

ඉතින් ඔයාල දෙන්න මේ ක්ලාස් එකට එන්ඩ. මේක තාම පටන් අරං සුමාන තුනයි.

සෑර් සිංහලෙන්ම උත්තර දුන්නේ අපේ ඉංග්‍රීසි දැනුම අහපු පලවෙනි ප්‍රශ්නෙන්ම තේරුණ හින්දා වෙන්නැති.

නෑ සෑර් අපිට ඕනෙ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක්. මුල ඉඳන්ම පටන් ගත්තොත් අපිටම විතරක්... එහෙම තමයි සෑර් අපි කල්පනා කරේ.... අපේ එකා සෑර්ට නොදෙවෙනි වෙන්ඩ කොටාගෙන යනවා.

අව්ලක් නෑ හැබැයි මම ෆ්‍රී වෙන්නෙ ෆ්‍රයිඩේ විතරයි. මගෙ ක්ලාස් එකක් තියෙනව වේයන්ගොඩ ඒක ඉවර වෙච්චිගමන්ම මම එන්නම් එතකොට 7 වෙද්දි අපිට පටන් ගන්ඩ පුඵවන්. පැය දෙකක් තිබ්බම ඇතිනෙ සතියකට.

අයියත් තව තව ප්‍රශ්න ගොඩක් අහල වෙලාවයි දවසයි සෙ‍ට් කර ගත්තා. හැබැයි ගාන තමයි මෑන්ට අවුලක් උනේ. මාසෙට 1000 ක්. 1000 ‍ටිකක් සැරයි. ගම්පහ ඒලෙවල් පංතියට ගත්තෙත් 200 යි ඒකාලෙ.

කොරන්ඩ ‍දෙයක් නෑ බං ඔපිස් එකේ වෙන දේවල් වල හැටියට සල්ලි බලල බෑ.

එහෙම කියල හිත හදා ගත්තු සුදු අයියා හැමදේටම එකඟවෙලා ලබන සිකුරාදා පන්ති පටන් ගන්නා බලාපොරොත්තුවෙන් සෑර්ට කතා කරලා මාත් එක්ක ආපහු ආවා.
කැන්දැ පඳුර අස්සෙන් සයිකලේ අරං ටවුමට එනකං තල්ලු කරගෙන ආපු අපි ඉතුරු හරිය පැදගෙන ආපහු ගෙදර ආවා. 

උඹත් වරෙන් බං මාත්තෙක්ක පංති. ම‍ට කම්මැලියි තනියෙන් යන්ඩ. උඹ නිකංනෙ ඉන්නෙ සුමානෙම.
ගෙදර එනකම්ම සුදු අයියා මාව බලෙන්ම පංති ගෙන්න ගන්ඩ සෑහෙන වලි කෑවා. මූට වැඩියෙන්ම ඕනෙකම තිබ්බේ තනියෙන් චාටර් කන්ඩවෙයි කියන බයයි.
......................................................................................................
මොකද උනේ සුදුවො?” අපේ අම්මා අහපු ප්‍රශ්නෙට වෙ‍ච්චි දේවල් ඔක්කොම කියපු සුදා,
පුංචො මල්ලිත් නිකංනෙ ඉන්නෙ, මාත්තෙක්ක පංති ගියානං ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්නවනෙ. ගාන දෙකට බෙදා ගම්මු කො.

අන්න බළල මල්ලෙන් එළියට පැන්නා. සුදා හිමින් හිමින් ආවේ ඔතෙන්ටයි.

ඔව් ඒකනං ඇත්ත. මං බාප්පත් එක්ක කතා කරල උත්තරයක් දෙන්නං. අම්මා කිව්වා.
තාත්තත් එක්ක පවත්වපු කතාවෙ නිගමනේ උනේ මාවත් පංතියටම යවන්නයි, පංති ගාස්තුවෙන් රුපියල් 500 ක් දෙන්නයි.
.........................................................................................................
හෙමින් හෙමින් සිකුරාදා දවස උදාවුනා. පංතියන්ඩ ලෑස්තිවෙලා මම සුදු අයියලෑ දිහාට ගියා. හැබැයි යන්නංවාලේ පංතියෑමකටයි මම මේ යන්නේ. කිසිම උවමනාවක් මගේ හිතේ නෑ.

අලුතෙන්ම පංති යන හින්දාත්, සුදු අයියා ලෑස්තිවෙලා එන්ඩ වරුවක්වත් යන හින්දාත් ලොකු අම්මා ඇ‍විත් මාත් එක්ක කතාවට වැටුනා.

ඉංග්‍රීසි පංතිය හම්බවුන හැටි ගැන අමුතු කතාවකුත් ඒකේ මාසික ගාස්තුව 1750 ක් වන බවත් මම දැනගත්තේ ඒකතාව අතර තුරයි.
500ක් අපේ තාත්තා ගෙව්වාමයි, සුදාගේ 500 ඌ ගෙව්වාමයි, 1750 න් ඉතුරුවෙන 750 තමයි මාටියා පාර. කොහොමද මුගේ මොලේ.

ඒ සෑර් ටිකක් ගණන් වැඩියි ලොකු අම්මේ. අනික වේයන්ගොඩ ඉඳන් අපි දෙන්නට විතරක්මනෙ එන්නෙ. සත්‍ය අවබෝධවෙච්චි මම සුදු අයියාව බේරගන්න එහෙම කිවිවා.

ඒක ඇත්ත, 2000ක් ගියත් කමක් නෑ පුතේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවනං.

දේවාලයක් පවත්තංගිය ලොකු අම්මාට සල්ලි වලින් කවදාවත් මදි පාඩුකං තිබ්බේ නෑ. කිසිම දවසක පයින් තියා පාරේ බස් එකකවත් ලොකු අම්මා ගිහින් තිබ්බෙ නෑ. ඒ 1970 ගණන් වල ඉඳන්. හැබැයි මහප්පා නම් කොච්චර සල්ලි තිබ්බත් පරණ ලුමාලා සයිකලේම නැගලා හංදියට යන එන එක සාමාන්‍ය පුරුද්දක්. උන්දෑ ජීවත් වුනේ ඉතා සරලව, තමන්ගේම පැන්සන් පඩිය භාවිතා කරලයි.

පු‍තේ මේං මේක තියාගන්ඩ... පංතියේ පාඩං ලියන්ඩ පුලුවන්නෙ.
ලෙකු අම්මා මට ලොකු පිටු තියෙන ඩයරියක් ගෙනල්ල දුන්නා. හැබැයි ඒකෙ අවුරුද්ද 1999. ඒවෙනකොටත් අවුරුදු 5 ක් පරණ පිටු කහ ගැහිච්ච ඩයරිය මම බාරගත්තා.

කතාව අතරතුර සුදු අයියා මහප්පගේ සයිකලේ නැගලා ගේ පිටිපස්සෙන් ආවා. සුදු අයියා මාවත් දාගෙන ටවුම‍ට බයිසිකලේ පැද්දා. අපි පංතියට පැය කාලක් විතර කලින් ගියා. පාර අයිනට වෙලා සෑර් එනකං බලන් උන්නා.
ටිකකින් සෙනග පිරිච්චි බස් එකකින් බොහොම අමාරුවෙන් අපේ සෑර් බැහැගෙන හිනාවකුත් දාගෙනම අපේ පැත්තට ආවා.

අපේ පංතිය තිබ්බ බිල්ඩිමේ විශේෂත්ව කිහිපයක්ම තිබිබා. ඒ අතරින් 5 වන තට්ටුවට විදුලි සැපයුමක් නැතිවීම, (මාසේ කුලිය අඩුවීමට මෙය විශාල හේතුවකි.), බිල්ඩිම මැද්දේම හාරා බිත්ති බැඳ උඩින් කොන්ක්‍රීට් ලෑලි දමා වසා ඇති බොන ලිඳ, ඊටම කි‍ට්ටුවෙන් ඇති වැසිකිලි දෙක, අත් වැටක් නැතිව සාදා ඇති තට්ටු 5ක් උස ඉතා පටු පඩි සහිත පඩි පෙල ඒවායින් කිහිපයක්.

අපේ පංතිය පටන් ගන්නේ 7ට හින්දා ලයිට් නැතුව පංතිය කරන්න‍ කොහොමත්ම බෑ. සෑර් පංතිය ළඟට එද්දිත් යංතං කරුවල වැටිලා තිබ්බා.

ලයිට් ප්‍රශ්නය අපි‍ට ප්‍රශ්නයක් උනාට සෑර් ඒගැන කලින්ම හිතලා උත්තරේකුත් මල්ලක දාගෙනම ඇවිත් තිබ්බා. ආගිය තොරතුරු හා අපේ ගෙදර දොර විස්තර කතා කරන ගමන් සෑර් තට්ටු 5ක උස ඇති දිග ඇති වයර් එකක් පොලිතින් මල්ලකින් එලියට ගත්තා.

බිල්ඩිමේ පහලම තට්ටුවේ තිබ්බේ මගුල් පෝරු කුලියට දෙන තැනකුයි සැලුන් එකකුයි. ඒක කරගෙන ගියේ තරංගා කියල අක්ක කෙනෙක්. අපි දෙන්නව තරංගා අක්ක‍ට අඳුන්නල දුන්නු සෑර් අර වයර් එක අරං සැලුන් එකේ ප්ලග් පොයින්ට් එකකට ගැහුවා. ඉතුරු කොන සැලුන් එකේ කුණු වතුර, ඩයි වතුර එලියට යන්න හදල තියෙන අඟලෙ පොඩි බට කෑල්ලක් අස්සෙන් බිල්ඩිමෙන් එළියට යැව්වා.

තරංගා මං ඔයාගෙ ෆෝන් එකට රිං කරාම ඕකෙ ස්විච් එක දාන්ඩ.  කියලා කතා කරගත්තු සෑර් වයර් පොට අතින් අරං අපිත් එක්කම  5වෙනි තට්ටුවටම ගියා. දැන් වගේ ලොකු ලොකු පෝන් නැති ඒකාලේ සෑර්ගේ පොඩි පෝන් එකේ ඩිස්ප්ලේ එකේ කණාමැදිරි එලියෙන් අපි උඩට ගියා.

5වෙනි තට්ටුවේ දී සෑර් මේසයක් උඩට නැගල සිවිලිමේ එල්ලල තිබ්බ ටියුබ් ලයිට් එකක හෝල්ඩරේ ගලෝලා, පහල ඉඳන් අරං ආපු වයර් දෙක ඒකට ඇමිණුවා.

දැං හරි. ඔන්න ඔය වැඩේ මීට පස්සේ කරුවල වැටෙන්ඩ කලින් ඇවිත් කරන්ඩ ඕනෙ. හරිද?  සෑර් මං දිහා බලං කිව්වා.

සෑර්ගේ රිං කට් එකත් සමඟම තරංගා ස්විච් එක දැම්මා. ඒත් එක්කම අපේ ජීවිත වල‍ට ආලෝකය ආවා. හැබෑටම ඒ ආවේ මගේ ජීවිතේ ආලෝකයයි.

ඔය විදිහටම ඊට පස්සේ පංතියට ලයිටි දාන්ඩ මට සිද්ධ වුනා. සැලුන් එකේ වතුර බටේ එන තැන රෑට බල්ලෝ නිදාගන්න පුරුදුවෙලා උන්නා. සමහර දවස් වලට හිඟන්නොත් ඉන්නවා පඩිපෙල යට මුල්ලේ. අපේ පංතිය පැයක් වත් කරගන්න නොලැබුණු දවසුත් මේ අතර තිබ්බා. ඒකට හේතුව වතුර බටේ ගාව බල්ලෝ පොරකාගෙන වයර් එක ගැලවිලා යෑම හෝ කොර ඇන ඇන ආපු හිඟන්නෙක් වයර් එකත් ඇදගෙනම එතනින් යාමයි. තරංගා අක්කා සැලුන් එක වහල ගිහිල්ල තිබ්බොත් ආපහු ලයිට් දාගන්න වෙන්නේ නෑ. එහෙම දවස් වල අපේ පංතියත් එතනින්ම ඉවරයි.

ඉතින් ඔය විදිහට ලයිට් දාගත්තු සෑර් හා හා පුරා කියලා අපේ පළවෙනි දවසේ පාඩම පටන් ගත්තා. ඉංග්‍රීසි භාෂාව ගැන කෙටි හැඳින්වීමක් කරපු සෑර් තමන්ගේ ඉගැන්වීම් රටාව ගැනත් සුදුසුකම් ගැනත් පැය කාලක විතර දේශනාවක් තිබ්බා.

සුදු අයියාගේ ඉල්ලීම උනේ අයන්නේ සිට ඉංග්‍රීසි පංතිය පටන්ගන්නයි. ඒවගේම සිංහලෙන් පංතිය කරගෙන යන්නත් ඉල්ලලා තිබ්බා.

අපි මෙලෝ දෙයක් දන්නෑ කියල හිතල මුල ඉඳන්ම පටන් ගන්ඩ සෑර්. නැත්තං මේවැ‍ඩේ හැමදාම කරන්ඩ බෑ. අපි කොච්චරනං ඉස්කෝලෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තත් හරිගියෙනෑ නෙ.

මුල ඉඳන්ම ඉංග්‍රීසි ඕනෙ කිව්වට ඔයාල දෙන්න එච්චරම ඉංග්‍රීසි නොදන්න අය නෙමෙයි නෙ. අනික මුලින් ප‍ටන් ගන්නවා කියල ඉංග්‍රීසි හෝඩියෙන්ම පටන් ගන්ඩ ඕනෙ නෑනෙ.
ඒත් කමක් නෑ සෑර් අපිට ඒකත් බෑ කියල හිතල ප‍ටන් ගන්ඩ.

සුදු අයියා හොඳටම පහලට තමන්ව දාගත්තේ හැබෑටම වැඩේ මුල ඉඳන්ම පටන් අරං කරගන්ඩ උවමනාවක් තිබ්බ හින්දයි.
හරි කමක් නෑ... එහෙනම් කියන්ඩ ඉංග්‍රීසි හෝඩියේ අකුරු කීයද? ඒ ප්‍රශ්නය ඇහුවේ සුදු අයියාගෙන්.
26.

දැන් එහෙනම් හෝඩිය පිලිවෙලට කියන්ඩ.  ඒ ප්‍රශ්නෙ ඇහුවෙ මගෙන්.
A, B, C, D, E, F, G, H, I, J, K, L, M, N, J, O, P …..

හෝ හෝ.... ඔය මොනවද ඔය.... N වලට පස්සේ J ආවෙ කොයි රටේද?

ඉංග්‍රීසි හෝඩිය මං නොදන්නවා නෙමෙයි. ඒත් N වලට පස්සේ  J අකුර මට කියවුනා. ඒත් එක්කම අපි දෙන්නාගේ ඉංග්‍රීසි දැණුම ඇස් පණාපිටම සෑර්ට ඔප්පු වුනා. සෑර් ඉංග්‍රීසි හෝඩිය පිළිවෙලට කියලා පාඩම පටන් ගත්තා. සුදු අයියා ඉල්ලුවා වගේම මගේ උත්තරෙත් එක්ක පංතිය මුල ඉඳන්ම පටන් ගන්න සිද්ධවුනා.

......................................................................................
ඔන්න ඔය විදිහට අපේ ඉංග්‍රීසි පංතිය අවුරුදු එකහමාරක් කරගෙන ගියා. සුදු අයියාගේ රස්සාවේ වැඩ වැඩිකම හින්දා අපේ පංතිය මාසෙට දවසක්වත් වත් අඩුම තරමේ නොකර ඉන්න සිද්ධවුනා. ඒ හින්දාම අවුරුදු එකහමාරක් කිව්වට ඇත්තෙන්ම අවුරුද්දක් විතර තමයි පංතිය ඇත්තටම කරගෙන ගියේ.

සෑර් ගැන විශේෂයෙන් කියන්න දේවල් ගොඩක් තියෙනවා. පෙනුමෙන් කැත, මිටි, තට්ට, පුංචි මිනිහෙක් උනා‍ට අවුරුදු 13 ක් ඉස්කෝලෙ ගිහින් ගොඩදාගන්න බැරිවෙච්ච, කවදාවත් මට තේරුම් ගන්න බැරිවේවි යැයි හිතපු ඉංග්‍රීසි භාෂාව ම‍ට හරිය‍ට කියල දුන්නේ සෑර්. ඉංග්‍රීසි ගැන අපේ හිත්වල තිබ්බ බය නැති කරලා, අවශ්‍ය තැනට අවශ්‍ය ව්‍යාකරණය බයක් නැතුව පාවිච්චි කරන හැටි කියලා දුන්නා. අපේ පංතියේ කිසි දවසක සිංහලෙන් කතා කරොත් දඩ ගහනවා වගේ ගොං නීති තිබ්බේ නෑ. පංතිය සම්පූර්ණයෙන්ම කරගෙන ගියේ සිංහලෙන්. ඒ දවස්වල වයස 31 වුන අපේ සෑර් කොල්ලෙක් විදිහට මිසක් ලොකු සෑර් කෙනෙක් විදිහ‍ට අපිව ආශ්‍රය කරේ නෑ. ඒ හින්දාම අපි නොදන්නා හැම ගොං ප්‍රශ්නයක්ම අහන්න අපිට  හයියක් තිබ්බා. ගුරුවරයෙක් විදිහට මමත් අද මේ ක්‍රමය පාවිච්චි කරනවා.

ඉංග්‍රීසිවල‍ට බය වෙලා උන්නු මම ඊට පස්සේ ඒ කියන්නේ 2005 – 2012 කලෙදි ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධි දෙකක් හදාරන්නත්, එංගලන්තෙ සුද්දෙක් යටතේ කොම්පැනියක රස්සාව කරන්නත්, 2009 ඉඳන් මේ වනතෙක් ඉංග්‍රීසි භාෂාවෙන් උපකාරක පංති පවත්වන්නත්, මගේ දෙවැනි රැකියාවේදී හඳුනා ගන්නට ලැබුණු ජීවිතයේ කිසිම දවසක යළි කතා කිරීමටවත් නොලැබෙන ජාතික හා ජාත්‍යන්තර කීර්තිමත් පුද්ගලයින් වන ඉන්දීය හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමා, CIMA ජාත්‍යන්තර ජනාධිපති (Global President of CIMA) ඕබ්රි ජෝකිම් මහත්මයා, එංගලන්ත සංචාරක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිළධාරිණී සැන්ඩී ඩේව් මහත්මිය, ප්‍රකට ගත්කතුවර හා HR ගුරු කෙනෙකුන් වන රොබින් ශර්මා මහත්මයා, ජෝන් කීල්ස් ශ්‍රී ලංකා ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂ රොනී පීරිස් මහත්මයා මෙන්ම තවත් බොහෝ ශ්‍රී ලාංකීය ආයතනික අධ්‍යක්ෂවරුන් මෙන්ම එංගලන්ත ආයතනයේ ලන්ඩන් කාර්යාලයේ සේවකයින් මෙන්ම මගේ සේවා කලාපය වූ මැදපෙරදිග හා දකුණු ආසියානු කලාපීය රටවල විවිධාකාර සංස්කෘතීන්ට අයත් පුද්ගලයින් සිය ගණනක් හා බයෙන් සැකෙන් තොරව රැකියා කටයුතු කරගෙන යාමටත් මට ඉඩ කඩ ලැබුණා. මේ හැමදේකම ගෞරවය අපේ සෑර්ට හිමිවිය යුතුයි. අපේ සෑර් සමන්ත එස් කුමාර මහත්මයායි.

අපේ ඉංග්‍රීසි පංතිය ගැන කතා මහා ගොඩක් කතා කියන්න පුලුවන්. මගේ ගෝලයා අහපු දෙයින් මගේ මතකය ඈතට ඇදිල ගියා. ඒවගේම මම එදා මගේ ඉංග්‍රීසි පංතිය ගැන ඔන්න ඔය විස්තරේ පංතියේ ළමයින්ට කිව්වා.

පළවෙනි දවසේ ඉංග්‍රීසි හෝඩිය වැරදෙන්න හේතුව මට පස්සෙ දවසක මතක් උනා. අපේ තාත්තගේ නමේ මුල් අකුරු I.M.N.J. ඒ පුරුද්දට මට ඉබේටම කියවුනා .......K.L.M.N.J කියලා.

ලොකු අම්මා දීපු ඩයරිය මම ඉංග්‍රීසි පංතියේ සටහන් ලියන්න පාවිච්චි කරා. අදටත් ඒ පොත මාත් එක්ක අවුරුදු 12 ක් පුරාවට ‍බෝඩිං ගණනාවක් හරහා මං යන යන  හැම තැනකම යනවා.

අපේ සෑර් අදටත් වේයන්ගොඩයි නිට්ටඹුවෙයි පංති පවත්වනවා.

අයියාගේ තනිය‍ට පංති ගිය මම ඉංග්‍රීසි ඉගෙන ගත්තත් අයියා උනන්දු උනේ නෑ. අදටත් අයියා කලින් වගේම ඉංග්‍රීසි වලින් බැටකමින් ජීවත් වෙනවා. ලොකු අම්මා මෙලොව හැරගොස් අවුරුදු 10 ක් වෙනවා. මහප්පා පුරුදු ලෙසම ලුමාලා සයිකලෙන් හංදියට යනවා.

5 comments:

Anonymous said...

I also learnt English the hard way

http://syberheartblog.blogspot.com/ said...

ඉගෙන ගන්න ගිහින් වෙච්ච කතන්දර ටික මිස ඉගෙන ගත්තේ කොහොමද කියලා ජාලගත ගුරු කියල නෑ නේද ඒත් ? හී හී.....! ඉගෙන ගැනීමේ ක්‍රමවේද තමයි මාත් හිතන්නේ ලොකුම ගැටළුව කියලා. කතාව ගොඩක් රසවත්

ගුරු said...

සයිබර් හාට්, ‍ඉගෙන ගත්තු හැටි කියන්ඩ පත්තර ගණන් ලියන්ඩ වෙනවා. සෑහෙන ගේමක් දුන්නා වැඩේ තේරුම් ගන්ඩ. ටික ටික භාෂාව ඉගෙන ගද්දී පොතක් පත්තරයක් වගේම ෆිල්ම් එකක් බලද්දී පොඩ්ඩ පොඩ්ඩ තේරුම් යනකොට හිතේ ආශාව තවත් වැඩි වෙනවා. අන්න ඒ ආසාව තමයි අපිව මෙහෙයවන්නේ ඉලක්කය කරා.
හැබැයි මම සුද්දෙක් වගේ දක්ෂයි කියනවා නෙමෙයි.

රාජ් said...

අපිට තාමත් ඔය 'ගුරුවරයා' ලැබුනෙ නෑ නෙව. මොනව කරන්නද ඉතිං

dilan akalanka said...

මගේ ඉන්ග්ලිස් පොලිෂ් කරගත්තේ XNXX.com , ASSTR.org කතා කියවලා. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි .

Post a Comment