Thursday, June 25, 2015

කිරි අම්මා



කිරි අම්මා මිය පරලොව ගොස් දැන් මාස දෙකකි. උන්දෑගේ මරණය මගේ හිතේ ඇති කළේ හිස් කමකි. මළගෙය දවස් තුනකින් අහවර වුවද කිරි අම්මා තාමත් මගේ හිතෙන් අහවර වී නැත. වෙන්නේ ද නැත.

ආණ්ඩුවේ සංගණනයට අණුව බස්නාහිර පළාතේ වයස 100 පැන්නවුන් ඉන්නේ 6 කි. ඒත් දැන් 5 කි. කිරි අම්මාට මියයද්දී වයස 103කි. දීර්ඝායුෂ ලැබීම විටෙක හොඳක් මෙන්ම නරකකි. එය නරකක් වන්නේ මේ අවුරුදු 103 පුරාවට උන්දෑ අත් දුටු දේවලු නිසාය.

ලෝක යුද්ධ දෙකක් දැකීම , බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම, ප්‍රථම වරට ඡන්දය භාවිතා කිරීම, ලංකාවේ පළමු මැතිවරණය, ජනාධිපතිවරණය, ජේ.වී.පී. කැරලි 1972 හා 1989, කොටි ත්‍රස්තවාදය ආරම්භවීම හා එහි අවසානය දැකීම, ක්‍රිකට් වලට ඉතා අසා කළ අයෙක් ලෙස 96 ලෝක කුසලාන ජය දැකීම හා තවත් ‍මහා ගොඩක් දේවල් වගේම තම ස්වාමියාගේ මරණය, දරුවෙකුගේ මරණය, ලේලියෙකුගේ මරණය, මුණුපුරෙකුගේ මරණය, තමාගේ සියලු සහෝරයින් ගේ හා සහෝදරයන් ගේ මරණයන් දැකීම ද සිදුවිය.
වයස 40 ගණන් වලදී එළදෙනක් ඇනීම නිසා සදාකාලික කොන්දේ කුදු බවක් ඇතිවුවද එය ජීවිතයට කිසිදාක කරදරයක් කර නොගත්තාය. කොන්ද නමාගෙන ජීවත්වූ කාලය කොන්ද කෙළින් කරගෙන ජීවත් වූ කාලයට වඩා වැඩිය.

වයස 88 ත් 91 අතර කාලයේදී මාත් සමඟ මහා පරිමාණ කෙහෙල් කො‍ටුවක් හැදීය. අදටත් කොටුව එලෙසින්ම පවතී.

වයස 96 වෙස්සීත්, දම් වැල කඩාගෙන දුවන ජෝතාත් මෙලෝ ත් අල්ලාගෙන ඒමට වෙල දිහෑට කෝට්ටක් අරං කඩි මුඩියට යාමටත්.... හයිය හත්තිය තිබ්බ උන් දෙන්නා මෙල්ල කොට එකට ගැට ගසාගෙන ඒමටත් උන්දෑ සමත්විය.

98 වෙද්දී ශාරීරිකව දුබල වී රෝද පුටුවේ ගියද උන්දෑ තනිවම රෝද පුටුව පදවාගෙන ගේ පුරා යාමට සමත් විය.

100 වෙන තුරුම ටී.වී එකේ හිංදි චිත්‍රප‍ටි බලමින් කණ්නාඩි නැතුවම උප සිරැසි ද කියවමින්, විහිලු වලට මහ හයියෙන් හිනාවෙමින් උන්නේය.

102 පිරුණු විට ගෙදරට පැමිණි රාජ්‍ය නිළධාරීන් පිරිසක් පොටෝ අල්ලා, විස්තර කතා බහ කොට රුපියල් 10 000 ක් මුදලක් ද දී ගියෝය. මැරෙණ මොහොත දක්වා පියවි සිහියෙන් උන් කිරි අම්මා ආණුඩුවේ මහත්තැන්ට කවි පද හතරක් ද කීය. අපි එකෙක්වත් කිසිදාක අසා නොතිබූ පරණ කවියකි. මට ද එය දැන් මතක නැත.

වයස 70 ගණන් වලදී පටන් ගත් මහ පිරිත් සඡ්ඡායණය වයස 98 පමණ වනතෙක් දිනපතා ‍‍කළාය. තරුණ කල කුඹුරු වැඩ කළාය, වී තැම්බුවාය, වංගෙඩියේ කෙටුවාය. කොල්ලෝම හතරදෙනෙක් දරුවන් ලෙස ලැබූ කිරි අම්මා මිය යද්දී දරුවන් ද මුණුපුරන් ද මීමුණුපුරන් ද දුටුවාය.

අපේ නංගිලා දෙන්නාට වඩා කිරි අම්මා මට සමීපය. ඉස්කෝලේ යද්දී හැමදාම උදේට බත් කැව්වේ කිරි අම්මාය.

අද වෙන විට සියල්ලම අවසන්ය. මී‍ට අවුරුදු 103 කට පෙර උන්දෑ උපන් සතුටට උන්දෑ ගේ දෙමවුපියෝ සතුටු වන්නට ඇත. අද ඊට අවුරුදු 103 කට පසු උන්දෑ මළාය කියා අපි දුක් වන්නෙමු.

කිරි අම්මේ...................නුඔට නිවන් සුව කියා හිතින් පැතුවත් ලියන්නට අමාරුය.

No comments:

Post a Comment